23/01/2026
සංවේගයෙන් ලියමි.
අද මා ස්කෑන් පරීක්ෂණයකට ලක් කලා අවුරුදු 17 ක දුවක්. රෝහලට ඇවිත් තිබුනේ දින කිහිපයක් පැවති බඩේ කැක්කුම සහ වමනය යෑම නිසා. රෝහලේදි කාන්තාවන්ගෙන් මුලීකවම මූත්‍රා පරීක්ෂණයක් සිදු කරනවා ගර්භනී බව පරීක්ෂා කිරීමට. අවසානාවට මේ දුවගේ මූත්‍රා පරීක්ෂණය පොසිටිව්. ඉන් පසු ඈව ස්කෑන් පරීක්ෂණයකට යොමු කරන්නේ කළලයක් තිබෙනවාද නැත්නම් ectopic තත්වයක් දැයි බලා ගැනීමට.
ඇයගේ අන්තිම මාසික ඔසප් වීමේ දිනය මම ඒ දුවගෙන් ඇසුවා. එය අක්‍රමවත් බවත් මසෙකට පෙර එය සිදු වූ බවත් ඇය කීවා. ඇයත් සමග ඇයගේ ආච්චි පැමිණ සිටියා.
ආච්චි අඩ අඩා මට කීවේ පරීක්ෂණය වැරදි විය හැකි බවත් දුවට කෙසේවත් එවැනි සම්බන්දයක් තිබිය නොහැකි බවත්.
නමුත් මම ඇගේ ස්කෑන් පරීක්ෂණය කරන විට දැක්කේ පණ ගැහෙන සති 14 ක පමණ කළලයක්. ඔව්, ඒ දරුවා හොදින් වැඩී සිටියා. ආච්වී එ මොහොතේ ඒ බව ඇසු නිසා මට ඒ ගැන කියන්න සිදු වුනා.
"අනේ නෝනේ මොකද්ද මේ කෙල්ල කරගෙන තියෙන්නේ,,මම කොහොමද මේකිගෙ අම්මට මේක කියන්නේ,,"
"අනේ නෝනේ දරුවා නැති කරන්න බැයිද,, මේ කෙල්ලත් තාම ළමයෙක්නේ.."
ඒ මොහොතේ නම් ඇත්තටම මට කියන්න දෙයක් තිබුනේ නෑ. අම්මෙක් විදිහට මගේ දුවට මේ දේ වුනත් මට මෙහෙමම හිතේවි.
ආච්චි කෝල් එකක් ගන්න එලියට ගිය වෙලේ දුව මට කතා කරා.
"ඩොක්ට,, මම ලබන අවුරුද්දෙ ඒ ලෙවල් කරනවා. මේ බබාව නැති කරන්න පුලුවන්ද,, "
"මම හිතන්නෑ දරුවො එහෙම පුලුවන් වෙයි කියලා."
"අනේ ඩොක්ට එකම එකපාරයි මම මගෙ බෝයි එක්ක එහෙම හිටියෙ. මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ" මම මොකද කරන්නෙ ඩොක්ට.."
"බෝයිට වයස කීයද"
"එයාටත් 17 යි. මගෙ පන්තියේ. "
ඉතින් මම මින් එහාට මොනවා කියන්නද,, වරදක් වෙන්න එක මොහොතක් ඇති.
මවත් ළමයෙක්. පියත් ළමයෙක්. ඇයගේ අනාගතයට මොකක් වේවිද,,
ශ්‍රි ලංකාවේ abortion නීති විරෝදී නිසා ඇයට කෙසේවත් මේ දරු ගැබ ඉවත් කල නොහැක.
Abortion කරන පිලිනොගත් තැන් තිබ්බත් දැනටමත් මේ කළලය සති 12 ඉක්මවා සිටින නිසා ඒසේ කරොත් එය මවගේ ජීවිතයට බරපතළ අවධානමක් වෙනු ඇත.
ඇය දරුවා බිහි කිරීමට තීරණය කරොත් ඇයට වසරක් පමණ අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වීමට සිදු වනු ඇත. එය ඇයගේ අනාගතයට බලපානු ඇත.
ඇය දරුවා අනාත නිවාසයකට යොමු කරොත් නූපන් දරුවා මවක්, පියෙක් නැතිව අසරණයෙක් ලෙස හැදෙනු ඇත.
ඔවුන් විවාහ වී දරුවා හදා ගැනීමට තීරණය කලොත් ලාබාල පියෙකු මවක ලෙස ආර්ථික, මානසික ගැටලු වලට මුහුන දෙනු ඇත. Depression, su***de, post partum depression, වැනි තත්ව වලට බොහෝ විට ගොදුරුවන්නේ මෙවැනි අත්දැකීම් නොමැති ලබාල පරපුරයි. ඒ පියාට අධ්‍යාපන සුදුසුකමක් නොමැතිව බිරිදක් හා දරුවෙක් පෝෂණය කිරීමට පුලුවන් වෙයිද,,
මේ ප්‍රශ්න කීපයක් පමණයි. ඔවුන්ගේ පවුල තුල, ගමෙන්, යාලුවන්ගෙන් ඇතිවන ප්‍රශ්න වලටත් මේ දරුවාට මුහුන දීමට වෙයි.
මෙයට මූලික හේතුව කුමක්ද? මා දන්නවා මෙය ලංකාවේ සිදුවු පලවෙනි ළමා ගැබ් ගැනීමක් නොවන බව. ඒවගේම මෙය අන්තිමත් නොවනු ඇත.
දරුවන්ට මූලික ලිංගික අධ්‍යාපනය නොමැති වීම මෙයට හේතුවක්ද,,
"එකපාරයි එහෙම හිටියේ" මේ කියමන ඒ දේ සනාථ නොකරනවා නොවේද,, මා දන්නා පරිදි O/L විෂය මාලාවට මිනිසාගෙ ඇග සහ ප්‍රජනනය පිලිබද මූලික දේවල් උගන්නනවා..
UK , australia වගේ රටවල දරුවන් වයස අවුරුදු 12 සිට වගේ sexual relationships පවත්වාගෙන යනවා.නමුත් ඔවුන්ගේ ගැබ් ගැනීම අවමයි. ඒ ඔවුන් contraceptive methods ගැන අවබෝධයක් තියෙන නිසා. ගැබ් ගත්තත් abortion කියා විකල්පයක් ඔවුන්ට තියෙනවා.
මා දකින දෙයක් නම් ලංකාවේ බහුතරයක් තරුණ තරුණියෝ western culture එකට කැමති.ඒ විදිහට අදිනවා , හැසිරෙනවා, කතා කරනවා. නමුත් sexual relationship , contraception ගැන අවබෝධයක් නෑ.
මව්වරුනි,, මේ දේවල් ඔබගේ දරුවන්ට කියලා දෙන්න. Teenage වයස භයානකයි. හෝර්මෝන වෙනස්කම් නිසා ඔවුන් විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වීම වලක්වන්න බෑ. නමුත් මෙවැනි දෙවල් කියලා දීමේන් බොහෝ කරදර ඇතිවීම වලක්වාගන්න පුලුවන්.
ප.ලි.
Anonymous විදිහට ලියන්නේ වෛද්‍යවරයෙක් රෝගී විස්තර පිටත දීම නොකල යුතු නිසා. නමුත් මේ කතාව බොහෝ දෙනෙක්ගේ කතාව නොවිය යුතු නිසා.