25/05/2026
"කැප්ටන්.. ප්ලේන් එක ස්ටේබල් නැහැ! අපි ඉන්නේ මාරම උසකින්.. රන්වේ එක කෙළවරේ තියෙන්නේ අඩි 250ක මහා ප්‍රපාතයක්! Go-Around කරන්න කැප්ටන්.. කරුණාකරලා ප්ලේන් එක ආයෙත් උඩට ගන්න!" සිංහලෙන් මෙහෙම කිව්වට මේක ඒ වෙලාවෙ මෙහෙම නෙවෙයි හොඳේ කිව්වෙ.
කොක්පිට් එක ඇතුළේ සහාය පයිලට් මරණ බයෙන් කෑගහනවා. හැබැයි ප්‍රධාන කැප්ටන්ගෙන් කිසිම සද්දයක් නැහැ. තත්පර ගණන් ගත වෙනවා. ප්ලේන් එක එකපාරටම රන්වේ එක දෙසට මහා වේගයකින් යනවා. මොකක්ද ඊළඟට වුණේ? හරි.. අපි මුල ඉඳන්ම බලමු මේ සත්‍ය ඛේදවාචකය.
මේක සිද්දවුණේ 2010 මැයි 22 වෙනිදා. ඩුබායි ඉඳන් ඉන්දියාවේ මංගලෝර් (Mangalore) බලා පියාසර කරමින් තිබ්බ Air India Express Flight 812 කියන Boeing 737-800 අති නවීන මගී ගුවන් යානයට. යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 166 දෙනෙක් ඉන්නවා. කවුරුත් දන්නේ නැහැ තමන්ගේ ජීවිත වල අන්තිම මිනිත්තු කිහිපයයි මේ දුවන්නේ කියලා.
1. මේ මුළු විනාශයටම මුල
ඇත්තටම මේ ෆ්ලයිට් එක පටන් ගන්න කලින්ම වැඩේ අනාගන්න පටන් අරන් තිබ්බේ. යානයේ ප්‍රධාන කැප්ටන් වුණු 55 හැවිරිදි සෙර්බියානු ජාතික සෙලැට්කෝ (Zlatko Glušica) මේ ෆ්ලයිට් එකට එන්න කලින් සති දෙකක නිවාඩුවක් ගත කරලා තමන්ගේ රටේ ඉඳන් ඇවිත් තිබ්බේ අනතුර වෙන්න දවස් දෙකකට කලින්.
ඔහුගේ සිරුරේ තිබ්බ Body Clock එක ඉන්දියාවේ වෙලාවට වඩා පැය 3 හමාරක් පස්සෙන් තිබ්බේ. දන්නවනෙ මේ සීන් එක. අපි අර සමහර වෙලාවට පාන්දර වෙනකන් ඇහැරල ඉන්න පුරුදු උනාම, අපි ඒකට හැඩගැහෙනවනෙ.. එතකොට අපි ඇහැරෙන්නෙ ගොඩක් දවල් වෙලා, අපේ ඇඟ හිතන්නෙ ඒ දවල් තමා උදේ කියලා.. ඒ කිව්වෙ දවල් 12 ට විතර ඇහැරුනාම ඇඟට අනුව නම් ඒක උදේ. ඒක තමයි මේ පයිලට්ට වෙලා තිබ්බෙ. ඒ මදිවට එදා රෑ එයාට ෆ්ලයිට් එකක් තිබ්බෙත් නැහැ, වෙන යාළුවෙක් වෙනුවට අන්තිම මොහොතේ තමයි මේකට සෙට් වුණේ. (ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මෙහෙම අන්තිම මොහොතේ පයිලට්ලා මාරු කරන්නේ කියලා. 2010 දී Air India Express එකේ පයිලට්ලාගේ කාලසටහන් හැදුවේ modern software වලින් නෙවෙයි, නිකන්ම පෑනෙන් සහ කොළයෙන්! ඒ නිසා මේ වගේ අවුල් නිතරම වුණා).
යානය ඩුබායි වලින් පිටත් වුණේ පාන්දර 2.45ට විතර. වෛද්‍ය විද්‍යාවේ මේ පාන්දර 2 සිට 6 දක්වා කාලයට කියනවා Window of Circadian Low කියලා. තේරුණේ නැහැ නේද ඒක? හරි සරලවම කිව්වොත්, (මනුස්සයෙක්ගේ ඇඟේ තියෙන හෝමෝන සහ පද්ධති වල හැටියට දවස ඇතුළත මහන්සිය උපරිම වෙලා, අවධානය සහ ඒකාග්‍රතාවය බිංදුවටම බහින වෙලාව තමයි ඔය පාන්දර යාමය).
ඉතින් ප්ලේන් එක උඩට අරන් පැයක් විතර යද්දී මේ මහන්සිය කැප්ටන්ට උපරිමයටම වැදුණා. එයා සීට් එක පස්සට කරලා ඇස් දෙක පියාගත්තා.. තත්පර කිහිපයකින් කොක්පිට් එක ඇතුළේ කැප්ටන් ගොරවන සද්දය ඇහෙන්න ගත්තා! දැන් ප්ලේන් එක පාලනය කරන්න ඉතුරු වෙලා ඉන්නේ එකම එක පයිලට් කෙනෙක් විතරයි. සහාය පයිලට් (First Officer) හර්බින්දර් තනියම ATC එකට කතා කර කර, ප්ලේන් එකත් බලාගෙන පැය එකහමාරක් තිස්සේ ඩබල් ඩියුටි කරනවා. දැන් දෙන්නෙක්ගෙ වැඩේ කරන්නෙ එක්කෙනෙක්.
2. මංගලෝර් කියන මරණයේ රන්වේ එක
ප්ලේන් එක ලෑන්ඩ් කරන්න කිට්ටු වෙන්නේ මංගලෝර් වලට. ලංකාවේ අපේ කටුනායක වගේ නෙවෙයි, මංගලෝර් එයාර්පෝට් එක පිහිටලා තියෙන්නේ Tabletop Runway එකක් විදිහට. තේරුණේ නැහැ නේද ඒක? හරි සරලයි. ඒ කියන්නේ මහා උස් කන්දක් මුදුනක් විතරක් ඩෝසර් කරලා, සමතලා කරලා හදපු ධාවන පථයක්. ඒක සාමාන්‍ය රන්වේ එකකට වඩා පටුයි වගේම, ඒකේ කෙළවරේ තියෙන්නේ අඩි 250ක ලොකු ප්‍රපාතයක්! මේසයක් උඩ වගේ තමා වටෙන්ම ප්‍රපාත තියෙන්නෙ. ඒකයි ටේබල් ටොප් කියන්නෙ. මේවගේ ධාවන පථයක කිසිම දෙයක් වරදින්න බෑ.
ප්ලේන් එක ලෑන්ඩ් කරන්න සැතපුම් 80ක් තියෙද්දී සහාය පයිලට් විසින් අර නිදාගෙන ඉන්න කැප්ටන්ව හෙමින් ඇහැරවනවා. කැප්ටන් ඇහැරුණේ මාරම disoriented (නිකන් සිහිය විකල්ප වෙච්ච) ගතියකින්. මෙකට කියන්නේ Sleep Inertia කියලා. (ඒ කියන්නේ අපි තද නින්දකින් එකපාරටම ඇහැරුණාම, අපේ මොළයට Live තත්ත්වයක් ක්ෂණිකව තේරුම් ගන්න තත්පර ගණනාවක් යනවා, තීරණ ගැනීමේ හැකියාව සෑහෙන්න අඩු වෙනවා.. මතක් කරල බලන්නකො හොඳ සැප නින්දක ඉද්දි, කවුරුහරි හදිස්සියකට ඇහැරෙව්වම, ඇහැරුනාට පස්සෙ එකපාරට මේ කොහෙද ඉන්නෙ, කියල හිතෙනවනෙ, ප්‍රශ්නයක් එහෙම ඇහුවොත් එකපාරට උත්තර දීගන්නත් බෑනෙ. අන්න ඒ වගේ තමයි කැප්ටනුත් දැන්.).
කැප්ටන් ඇහැරෙද්දී ප්ලේන් එක තිබ්බේ ලෑන්ඩ් වෙන්න ඕන උසට වඩා සෑහෙන්න ඉහළින්. ඒ මදිවට එදා එයාර්පෝට් එකේ Area Radar එකත් වැඩ කළේ නැහැ. ප්ලේන් එක සාමාන්‍යයෙන් එන්න ඕන පාර මඟහැරිලා, රේඩියෝ signal වල ඇතිවුණු දෝෂයක් නිසා False 9-Degree Glide Slope එකක් පරිගණකයට අහු වුණා. (සාමාන්‍යයෙන් ප්ලේන් එකක් බිමට බහින්නේ අංශක 3ක වගේ සියුම් බෑවුමකින්. හැබැයි මේ කම්පියුටර් අවුල නිසා ප්ලේන් එක අංශක 9ක මහා දරුණු බෑවුමකින් කෙලින්ම පල්ලෙහාට විදින්න ගත්තා! අයියෝ අංශක 9 නම් පොඩීනෙ කියල හිතන්න එපා,, ප්ලේන් එකක් පහළට එද්දි air speed එක හරි විදිහට තියාගන්න නම් අංශක 3 ක වගේ පොඩි ඈන්ගල් එකකින් තමා පහලට එන්න ඕනෙ)
3. කොක්පිට් එක ඇතුළේ සිදුවීම
ප්ලේන් එක වේගයකින් පල්ලෙහාට යද්දී සහාය පයිලට් බය වුණා. එයා බෝඩ් එක බලලා කිව්වා "කැප්ටන් අපි ඉන්නේ මාරම උසක, රන්වේ එක කෙළින්ම පල්ලෙහා තියෙන්නේ, මේක ස්ටේබල් නැහැ" කියලා. ඊටපස්සේ කොක්පිට් එක ඇතුළේ automatic Alarms කෑගහන්න ගත්තා.. "SINK RATE! PULL UP!" කියලා.
සහාය පයිලට් මරණ බයට 3 වතාවක්ම කැප්ටන්ට කිව්වා "Go-Around කරන්න" (ලෑන්ඩ් කරන්නේ නැතුව ප්ලේන් එක ආයෙත් උඩට ගන්න. Go around කියන්නෙ ආපහු උඩට අරන් වටයක් ගහල හරි විදිහට land කරන්න එමු කියන එක) කියලා. හැබැයි කැප්ටන් තමන්ගේ නිදිමත නිසා සහාය පයිලට්ගේ අනතුරු ඇඟවීම් සියල්ලම සම්පූර්ණයෙන්ම නොසලකා හැරියා. ඔහු හිතුවා "මම මීට කලින් 16 පාරක් මෙතනට ප්ලේන් බස්සලා තියෙනවා, මට මේක කරන්න පුළුවන්" කියලා.
ප්ලේන් එක රන්වේ එකේ Threshold (පටන් ගන්න හරිය) පහු කරලා, අඩි 8000ක් දිග රන්වේ එකෙන් අඩි 5200ක්ම ඉවර වුණාට පස්සෙයි යානයේ රෝද බිම ගැටුණේ! හිතාගන්න පුලුවන්ද runway එකෙන් බාගයකටත් වඩා ඉවරයි, ඒ කියන්නේ මහා මගී ප්ලේන් එකක් නවත්වන්න ඉතුරු වෙලා තිබ්බේ අඩි 2800ක වගේ ඉතාම පුංචි පරාසයක් විතරයි.
4. අන්තිම තත්පරයේ මාරාන්තික තීරණය
රෝද බිම වැදිලා, යානය බ්‍රේක් කරලා නවත්වන්න බැරි බව තේරුණු සැනින් කැප්ටන් මාරාන්තික වැරැද්දක් කළා. ඔහු ඔන් කරලා තිබ්බ Thrust Reversers (මේ thrust reversers කියන්නෙ ප්ලේන් එකක එන්ජින් එකක තියන බලයම ප්ලේන් එක නවත්තන්න පාවිච්චි කරන එක. එන්ජින් එකේ පිටිපස්සෙන් පියන් දෙකක් වගේ ඇරිල තමයි මේක වැඩකරන්නෙ. කමෙන්ට් වල දාන්නම් ෆොටෝ එකක්) එකපාරටම off කරලා, යානය ආයෙත් අහසට ගන්න (Go-Around කරන්න) හිතාගෙන Engines වල Throttle එක ඉස්සරහටම තල්ලු කරලා Full power දුන්නා! හැබැයි අර කිව්ව පියන් දෙක වැහිලා ඉවර වෙන්න තත්පර කිහිපයක් යන නිසා,(මේ වගේ තීරණාත්මක අවස්ථාවක තප්පරයක් කියන්නෙත් මාර වටිනවනේ) ප්ලේන් එකට උඩට යන්න අවශ්‍ය වේගය ලැබුණෙත් නෑ, තිබ්බ බ්‍රේක් බලයත් නැති වුණා!
නමුත් ඒ වෙනකොට රන්වේ එක ඉවර වෙලා තිබ්බේ. ප්ලේන් එක රන්වේ එක කෙළවරේ තිබ්බ වැලි බාධකය කඩාගෙන ගිහින්, එතන තිබ්බ ILS ඇන්ටනා කුළුණක දකුණු තටුව වැදිලා සම්පූර්ණයෙන්ම කුඩු වුණා. තටුව කැඩුණු සැනින් යානය මහා ප්‍රපාතයෙන් පල්ලෙහාට පෙරළිලා, ක්ෂණයකින් ගිනි ගෙන අළු වෙලා ගියා.
166 දෙනෙක්ගෙන් බේරුණේ මගීන් 8 දෙනෙක් විතරයි. ඉතිරි 158 දෙනාම අඟුරුවෙලා ජීවිතක්ෂයට පත්වුණා. පස්සේ කරපු පරීක්ෂණ වලින් හෙළිවුණා කැප්ටන් අන්තිම මොහොතේ Full power නොදී දිගටම බ්‍රේක් කරගෙන ගියා නම් ප්ලේන් එක ප්‍රපාතයට වැටෙන්නේ නැතුව වැලි බාධකයේ නතර වෙන්න ඉඩ තිබ්බා කියලා!
මේ අනතුරෙන් පස්සේ තමයි ලෝකයේ ගුවන් සේවා නීති සම්පූර්ණයෙන්ම වෙනස් කරලා CRM (Crew Resource Management) කියන දේ අනිවාර්ය කළේ. ඒ කියන්නේ කොක්පිට් එක ඇතුළේ සහාය පයිලට් කෙනෙක් "Go-around" එකක් ඉල්ලුවොත්, ප්‍රධාන කැප්ටන් තමන්ගේ තීරණේ පස්සට දාලා ඒකට අවනත වෙන්න ඕනෙ කියන එක!
මම මේ Air India 812 යානය ප්‍රපාතයට වැටිලා තියෙද්දි ගත්ත ඇත්තම ඡායාරූපයක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්නම්. බලන්න ඔයාලා මීට කලින් මේ මංගලෝර් අනතුර ගැන අහලා තිබ්බද කියලා.
⚡