Skyplus.Lk

Skyplus.Lk Skyplus is Sri Lanka's future in aerospace, driving innovation and unlocking limitless possibilities in space exploration. Sri Lankan's Future Aerospace agency

25/08/2025

10 වෙනි Starship රොකට් දියත් කිරීමට ඔබ සූදානම්ද?
---------------------------------------------------

මේ වෙද්දි ඔයාලා දන්නවා SpaceX සමාගමේ Starship රොකට්ටුවේ 10 වෙනි මෙහෙයුම හෙට (26) අළුයම සිදු කරන්න නියමිතයි කියලා. ඒ ගැන කතා කරන්න කලින් 9 වෙනි මෙහෙයුමේ මොනවද වුනේ කියලා බලන්න ඕනේ.

මැයි 28 වෙනිදා දියත් කරපු 9 වෙනි Starship රොකට්ටුවේ පළමු අදියර විදිහට භාවිතා කළේ මීට කලින් 7 වෙනි මෙහෙයුමට භාවිතා කරලා සාර්ථකව ගොඩබැස්ස Super Heavy Booster 14. මේක තමයි නැවත භාවිතා කරපු පළවෙනි Starship පළමු අදියර. 7 වෙනි මෙහෙයුමේ වගේම 9 වෙනි මෙහෙයුමේදීත් මේක ගැටලුවක් නැතුව ඉහළට ගියා. අදියර දෙක වෙන් කිරී⁣මත් සාර්ථකව අවසන් කළාට පස්සේ පළමු අදියර Boostback Burn එක සාර්ථකව අවසන් කරලා මෙක්සිකෝ බොක්කට ගොඩබහින්න ඉලක්ක කරගෙන පහළට ආවා. වායුගෝලය හරහා පහළට එද්දි grid fins යොදාගෙන මේ පළමු අදියරේ Angle of Attack එක වැඩි කරන්න SpaceX සමාගම කටයුතු කලේ පරීක්ෂණයක් විදිහට. AoA කියන්නේ වාතයට සාපේක්ෂව පළමු අදියර ගමන් කරන දිශාව සහ පළමු අදියරේ මධ්‍ය අක්ෂය අතර කෝණය. මේ ගැන මම පැහැදිලි කරලා වීඩියෝ එකක් මගේ YouTube නාලිකාවේ දාලා තියනවා.

ඉතින් ඉහළ AoA එකකින් පහළට එද්දි පළමු අදියර මත ක්‍රියා කරන වායු⁣ගතික ප්‍රතිරෝධී බලය වැඩි වෙනවා. SpaceX සමාගම කියන විදිහට Super Heavy Booster 14 එක 17° ක AoA එකකට ආනත වෙලා තියනවා. මේ සමඟ ඇතිවෙන වායුගතික බලයන්ගෙන් Super Heavy Booster එකේ ඉහළින් තියන ද්‍රව මීතේන් ටැංකියේ ඉඳන් පහළින් තියන රොකට් එන්ජින්වලට ඉන්ධන ගෙන වන විශාල නාළය, එහෙමත් නැත්නම් Fuel Transfer Tube එක කොතනකින් හරි කැඩිලා යන්න ඇති කියලා SpaceX ඉංජිනේරුවන් සැක කරනවා. මේ නිසා Landing Burn එක සඳහා එන්ජින් ක්‍රියාත්මක කරද්දි ඉන්ධන සහ ඔක්සිකාරක මිශ්‍ර වෙලා පළමු අදියර පුපුරා යනවා. මේ හේතුව නිසා අනාගත මෙහෙයුම්වල භාවිතා කරන්න (10 වෙනි මෙහෙයුම ගැන නෙමෙයි කියන්නේ) බලාපොරොත්තුවෙන් සංවර්ධනය කරගෙන යන අලුත්ම Super Heavy Booster සංස්කරණය සඳහා වඩා ශක්තිමත් Fuel Transfer Tube එකක් සැලසුම් කරලා අවසන්.

9 වෙනි Starship රොකට්ටුවේ දෙවෙනි අදියර විදිහට භාවිතා කලේ Starship 35 යානය. තුන්වෙනි Starship Block 2 යානය වුනු මේක තමයි අවසාන ප්‍රවේගය ලබා ගන්නකල් රොක⁣ට් එන්ජින් ක්‍රියා කරපු පළවෙනි Block 2 යානය. 7 වෙනි සහ 8 වෙනි මෙහෙයුම්වලදී Starship යානාවලට වුන දේ මතකයිනේ?

හැබැයි SpaceX සමාගම ප්‍රකාශ කරන විදිහට රොකට් එන්ජින් ⁣ක්‍රියා විරහිත කරන්න කලින්ම මේකේ ගැටලුවක් හට ගෙන තියනවා. ඒක තමයි Fuel Diffuser එක යම්කිසි ස්ථානයකින් කැඩී යාම. Fuel Diffuser එක කියන්නේ ද්‍රව මීතේන් ටැංකියේ උඩින්ම තියන නාළයක්. මේකෙන් තමයි රොකට් එන්ජින්වල ඉඳන් එන මීතේන් වායුව ද්‍රව මීතේන් ටැංකියේ ඉහළින් මුදා හරින්නේ. මොකද Starship රොකට්ටුවේ අදියර දෙකේම තියෙන්නේ Autogenous Pressurization System එකක්. ඒ කියන්නේ ද්‍රව මීතේන් ටැංකිය සම්පීඩනය කරන්නේ මීතේන් වායුවෙන්. ද්‍රව ඔක්සිජන් ටැංකිය සම්පීඩනය කරන්නේ ඔක්සිජන් වායුවෙන්. මේ වායූන් දෙකම ගන්නේ රොකට් එන්ජින්වලින්. දහනය සඳහා එන්ජිමට යන අධිශීත ද්‍රවයන් දෙකෙන් පොඩි ප්‍රමාණයක් රත් කරලා වායු බවට පරිවර්තය කරලා නැවත ටැංකිවලට එවනවා. මේ ගැන මම Raptor රොකට් එන්ජින්වල ක්‍රියාකාරිත්වය ගැන පැහැදිලි කරපු වීඩියෝ එකේ සඳහන් කළා.

ඉතින් Fuel Diffuser එක කැඩිලා ගිය නිසා එන්ජින්වලින් එන මීතේන් වායුව සම්පූර්ණයෙන්ම ඉන්ධන ටැංකියට යන්නේ නැතුව, ඒ ටැංකියට ඉහළින් තියන Payload Bay එකටත් පිරෙන්න පටන් ගත්තා. මේ නිසා ඉන්ධන ටැංකියේ පීඩනය අඩු වෙන්න පටන් ගත්තත්, සංවේදකවලින් මේක හඳුනා ගෙන එන්ජින්වලින් ටැංකිය⁣ට එවන වායු ප්‍රමාණය වැඩි කරලා පීඩනය අඩු වීම පාලනය කරගෙන තියනවා.⁣ ඒ නිසා කොහොමහරි Starship 35 යානය බලාපොරොත්තු වුනු ප්‍රවේගයට ළඟා වෙනකල් එන්ජින් ක්‍රියාකාරී තත්වයේ පවත්වා ගන්න සමත් වෙනවා.

එන්ජින් ක්‍රියාවිරහිත කලාට පස්සේ තියෙන්නේ සැලසුම් කරපු පරිදි Payload Bay එකේ වෑල්ව් විවෘත කරලා ඒකේ තියන වාතය ඉවත් කරන වැඩේ කරන්න. මොකද Payload Bay එකේ තියන Starlink Simulators ටික යානයෙන් මුදා හරින්න ඒක ඇතුළේ වායු පීඩනය ශුනය කරගන්න වෙනවා. නැත්නම් ඇතුල් පැත්තට විවෘත වෙන දොර විවෘත කරගන්න බෑ. නමුත් Starship 35 යානයේ Payload Bay එක ඇතුලේ මීතේන් වායුව පිරිලා තිබුනු නිසා බලාපොරොත්තු වුනාට වඩා ඉහළ වායු පීඩනයක් තිබුනා. ඒ නිසා වෑල්ව් විවෘත කරපු ගමන් බලාපොරොත්තු වුනු ප්‍රමාණයට වඩා වායු ධාරාවක් යානයේ Payload Bay එකෙන් පිටතට යන්න පටන් ගන්නවා. මේ වායු ප්‍රවාහය Cold Gas Thruster එකක් විදිහට ක්‍රියා කරන නිසා යානය භ්‍රමණය වෙන්න පටන් ගත්තා.

ඉතින් එක්තරා ප්‍රමාණයකට යානය හැරවුනාට පස්සේ යානයේ පරිගණක ස්වයංක්‍රීයව Payload Bay එකේ වාතය පිට කිරීමේ ක්‍රියාවලිය නවත්තලා යානය නැවතත් නියමිත ආකාරයට හරවා ගන්න කටයුතු කළා. යානයේ ත්‍රස්ටර්ස් වැඩකරන නිසා මේක කරගන්න අමාරුවක් වුනේ නෑ. නියමිත ආකාරයට යානය ස්ථායී වුනාට පස්සේ නැවතත් Payload Bay එකේ අභ්‍යන්තර වායු පීඩනය ශුන්‍ය වෙනකල් ආපසු වාතය පි⁣⁣ට කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. ඒ නිසා ආපසු යානය භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. මේ වෙද්දි යානය ටික වෙලාවක් ශුන්‍ය ගුරුත්වයේ තිබුනු නිසා ටැංකිවල පහළ ඉතුරු වෙලා තිබුනු ද්‍රවයන් ටැංකිවල ඉහළට පාවෙලා ඇවිත්. ඉතින් ද්‍රව මීතේන් ටැංකියේ ඉහළින්ම තියන Diffuser එක කැඩිලා නිසා ඒක හරහා එතනින් ඉහළට, ඒ කියන්නේ Payload Bay එක ඇතුළට ද්‍රව මීතේන් කාන්දු වෙනවා. Payload Bay එක ඇතුළේ තියන උෂ්ණත්ව සංවේදකවලට මේ අධිශීත ද්‍රවයන්ගේ ඉතා පහළ උෂ්ණත්වය දැනුණට පස්සේ යානයේ පරිගණක මඟින් මේ වගේ තත්වයකදී කරන්න කියලා උපදෙස් දීලා තිබුනු විදිහ⁣ට වැඩ කළා. ඒ කියන්නේ යානයේ ⁣ටැංකිවල තිබුනු ද්‍රව මීතේන් සහ ද්‍රව ඔක්සිජන් සියල්ල ටැංකිවලින් පිටත අභ්‍යවකාශයට යන ආකාරයට ඒවාගේ වෑල්ව් විවෘත කළා. මේ නිසා ටැංකි හිස් වුනා. ඒත් සමඟම යානය හරවන්න භාවිතා කරන ත්‍රස්ටර්ස්වලට අවශ්‍ය කරන වායූන් ටිකත් අවසන් වුනා. ඉතින් එතනින් එහාට යානය අවශ්‍ය කරන විදිහට හරවන්න බෑ. ඉතින් යානය වායුගෝලයට ඇතුළු වෙද්දි තාප ආවරණය ඉදිරියට පිහිටන විදිහ⁣ට යානය පවත්වා ගන්න හැකියාවක් තිබුනේ නෑ. ඒ නිසා යානය වායුගෝලයට ඇතුළු වෙද්දි විනාශ වුනා.

ඉතින් ඔන්න ඔය දේ තමයි 9 වෙනි Starship මෙහෙයුමේ සිද්ද වුනේ...

10 වෙනි මෙහෙයුම සදහා පරීක්ෂා කරමින් තිබුනු Starship 36 යානය පුපුරා ගියේ මම කලින් වීඩියෝ එකක් කීවා වගේම COPV ටැංකියක් පුපුරලා තමයි. ඒකට හේතුව ඒ ටැංකිය නිෂ්පාදනය කරද්දි හරි, ප්‍රවාහනය කරද්දි හරි, යානයට සවි කරද්දි හරි සිදුවුනු මොකක් හරි හානි වීමක් කියලා තමයි SpaceX සමාගම ප්‍රකාශ කරන්නේ. ඒ හානි වීම නිසා ටැංකියේ වායු පීඩනය වැඩි කරද්දි පුපුරලා ගියා.

ඔය සේරම ගැටළුවලට පිළියම් යොදාගෙන තමයි SpaceX සමාගම හෙට (26) අළුයම 10 වෙනි Starship රොකට්ටුව දියත් කරන්න සූදානම් වෙන්නේ. මේ මෙහෙයුම 9 වෙනි මෙහෙයුමේ සැලසුමම තමයි ක්‍රියාත්මක කරන්නේ.

පළමු අදියර විදිහට භාවිතා කරන Super Heavy Booster 16 එක දියත් කිරීම අවසානයේ ආපසු දියත් පුවරුවේ රොබෝ අත් දෙක මැද්දට එන්නේ නෑ, හිතාමතාම මෙක්සිකෝ බොක්කට ගොඩබස්සනවා. ඒකට හේතුව තමයි SpaceX සමාගම මේ මෙහෙයුමේදී කලින් මෙහෙයුමේ කරන්න හිතුවට කරගන්න බැරි වුනු වැඩක් කරන්න සූදානම් වෙනවා. ඒක ටිකක් අනතුරුදායකයි. ඒ නිසා ඒ පරීක්ෂණය මුහුදට ඉහළින් සිදු කරන්න ඔවුන් තීරණය කරලා තියෙන්නේ.

Landing Burn එක සදහා මුළින්ම Super Heavy Booster එකේ එන්ජින් 33 න් ඇතුලෙන්ම තියන එන්ජින් 3 සහ මැද වළල්ලේ එන්ජින් 10 ක්‍රියාත්මක කරනවා. නමුත් තත්පර කිහිපයකට පස්සේ මැද වළල්ලේ එන්ජින් 10 ක්‍රියා විරහිත කරන්න එපැයි. නමුත් කවදාහරි දවසක ඇතුලෙන්ම තියන එන්ජින් 3 න් 1 ක් ක්‍රියා විරහිත වුනොත් ගොඩබැසීමට මොකද වෙන්නේ? අන්න ඒක පරීක්ෂා කරන්න මේ මෙහෙයුමේදී ඇතුලෙන්ම තියන එන්ජින් 3 න් 1 ක් Landing Burn එකේදී ක්‍රියා විරහිත කරනවා. ඒ අඩුව පුරවන්න මැද වළල්ලේ එන්ජින් 10 ක්‍රියාවිරහිත කරන වෙලාවේදී 9 යි ක්‍රියා විරහිත කරන්නේ. එක එන්ජිමක් තියා ගන්නවා ඇතුලෙන්ම තියන එන්ජින් 3 න් 1 ක් නැති නිසා. SpaceX සමාගම බලාපොරොත්තු වෙනවා මේ විදිහට එන්ජින් 3 ක්‍රියා කිරීම පළමු අදියරේ පාලනයට කොයි විදිහේ බලපෑමක් වෙයිද කියලා පරීක්ෂා කරන්න. හැබැයි ගොඩබැසීමේ අවසන් තත්පර කිහිපයේදී ඇතුලෙන්ම තියන එන්ජින් 2 පමණක් තියාගෙන මැද වළල්ලේ එන්ජිම ක්‍රියා විරහිත කරනවා. අන්න ඒ විදිහට තමයි Super Heavy Booster 16 එක මෙක්සිකෝ බොක්කට ගොඩ බහින්නේ.

දෙවන අදියර, ඒ කියන්නේ Starship 37 යානයේ ගමන් මාර්ගයේ වෙනසක් නෑ. කලින් මෙහෙයුම්වල වගේම පළමු අදියර වෙන් වුනාට පස‌්සේ දෙවන අදියරේ එන්ජින් 6 මගින් දෙවන අදියර කක්ෂීය ප්‍රවේගයට ආසන්න ප්‍රවේගයට ආසන්න වෙනවා. ඊට පස්සේ එන්ජින් ක්‍රියවිරහිත කරනවා.

ශුන්‍ය ගුරුත්වය යටතේ පෘථිවිය වටා ගමන් කරද්දි Starship 37 යානය එකේ ගෙනි යන Starlink V3 චන්ද්‍රිකාවලට ස්කන්ධයෙන් සමාන Starlink Simulators 8 ක් අභ්‍යවකාශයට මුදා හරිනවා. ඒ අනාගත Starship යානාවල Starlink V3 චන්ද්‍රිකා කක්ෂයට මුදා හැරීමේ ක්‍රියාවලියට පුහුණුවක් විදිහට. Starship 37 යානයෙන් මුදා හරින Simulators 8 යානය ගමන් කරන මාර්ගයේම යන නිසා ඒවාත් වැටෙන්‌නේ ඉන්දියන් සාගරයටම තමයි.

කලින් මෙහෙයුම්වලදී වගේම Starship 37 යානයත් ඉන්දියන් සාගරයට ගොඩබහින්නේ. මෙහෙයුමේ ඒ කොටසේ වෙනසක් නෑ.

ඉතින් මේ වෙද්දි Starship රොකට්ටුවේ 10 වෙනි මෙහෙයුම දියත් කරන්න නියමිත වෙන්නේ හෙට පාන්දර 5.00 ට.

මෙහෙයුමෙන් පස්සේ වීඩියෝ එකක් දාන්නම් YouTube නාළිකාවට...

අප්‍රේල් 07 වෙනිද දවල් හෙවණැල්ල දැකගන්න ලැබෙන්නෙ නැතිවෙයි.😮පසුගිය දිනවල සූර්යයා දකුණු අර්ධ ගෝලයට බරව පිහිටියද එය සමකයෙන්...
31/03/2025

අප්‍රේල් 07 වෙනිද දවල් හෙවණැල්ල දැකගන්න ලැබෙන්නෙ නැතිවෙයි.😮

පසුගිය දිනවල සූර්යයා දකුණු අර්ධ ගෝලයට බරව පිහිටියද එය සමකයෙන් උතුරට බරව පැමිණ පසුගිය මාර්තු 21 දින පෘථිවි නිරක්ෂයට ඉහලින් පිහිටීමට යෙදුණි. මෙම පිහිටීමද දවසින් දවස වෙනස් වී ගොස් අප්‍රේල් මස 5 වන දින සිට අප්‍රේල් 15 දින දක්වා දින 10ක කාලයක් සූර්යයා අප රටට ඉහලින් ගමන් ගන්නා බවක් දක්නට ලැබේ.

අප්‍රේල් 07 වන දින මධ්‍යහනේදී සූර්යයාගේ මුදුන් විම දහවල් 12.12ට සිදුවේ.මෙහිදී අප අඟනුවරට මෑතින් පිහිටි නගර වල ජීවත් වන ජනතාවට මෙම විශේෂ සංසිද්ධිය දැක බලා ගත හැකිය.

අප්‍රේල් 7 දින මධ්‍යහන 12.12ට එළිමහනේ සිටින අයගේ සෙවනැල්ල එක් මොහොතකට නැතිවී යනු දැකිය හැකිය.මේ අනුව අඟනුවර අවට වන ගොඩලැඟිලි වලද සෙවනැල්ල සුළු මොහොතකට නැතිවී යනු ඇත.
මේ අවස්ථාව මහජනතාවට බලන්න අපි විශේෂ වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා ඒ සඳහා ඔබට සහභාගි විය හැකිය.

🔴 ස්ථානය - කොළඹ ටවුන් හෝල් ඒළිමහන් පරිශ්‍රයේදී
🔴 දිනය - අප්‍රේල් 07
🔴 වේලාව - උදෑසන 11.30 සිට
🔴 මෙහෙයවීම - ප්‍රවීණ තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා

මෙය අඩියක් පමණ වන කම්බි කූරක් වැනි යමක් මධ්‍යහනට පෙර සෘජුව සිටවා ඒ ආශ්‍රයෙන්ද ලොකු කුඩා සැමට ඉතා සරලව නිරීක්ෂණය කළ හැකිය.

Location: https://maps.app.goo.gl/nA92YzZqDkmYCGNR9
වැඩිදුර විස්තර සඳහා :https://meteo.gov.lk/images/-/Over-Head-Sun-2025-April.pdf

සටහන -
ප්‍රවීණ තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා
රුසින් තත්සර (මොරටුව විශ්වවිද්‍යාලය)
පසිඳු ලක්ෂාන් (කැලණිය විශ්වවිද්‍යාලය)

දන්න අය කියමු බලන්න 😁
30/03/2025

දන්න අය කියමු බලන්න 😁

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Skyplus.Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Skyplus.Lk:

Share