05/12/2023
මොකක්ද මේ 𝐔𝐨𝐕𝐓 නැත්නම් 𝐔𝐍𝐈𝐕𝐎𝐓𝐄𝐂?
විශ්වවිද්‍යාල ප්‍රවේශයට සූදානමින් මුළු රටේම තරුණ පිරිස් අවස්ථා සොයන තරමක් උණුසුම් වෙලාවකයි මේ ලිපිය ලියන්නේ. වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වුවත් ඒ ගැන ඇති යම් යම් සාවද්‍ය මත නිසා මෙන්ම සිසුන් බොහොමයක් මේ පිළිබඳව නිවැරදි තොරතුරු නොදැන සිටීම නිසා ඔවුන්ට හිමි විය යුතුව ඇති මිල කළ නොහැකි තරම් වටිනා උසස් අධ්‍යාපන අවස්ථාවක් ඔවුන් හට අහිමිව යා හැකියි.
අනෙක් අතට නිවැරදි හෝ නිල තොරතුරු නොදැන පවසන දුස් තොරතුරු විටෙක දුරින් දුරට ගමන් කරන්නේ මේ වටිනා ආයතනයේ සේවය නිවැරදිව තක්සේරු නොකරමිනි.
UoVT ආරම්භයේ දී හැදින්වූ UNIVOTEC යන නාමයත් සමග බොහෝ දෙනා තවමත් සිතන්නේ මෙය පෞද්ගලික හෝ රාජ්‍යයට අයත් නොවන විශ්ව විද්‍යාලයක් බවයි. මෙහි UoVT යන නාමයෙන් සංකේතවත් කරනුයේ U-University o-of V- Vocational T- Technology මිස අනෙකක් නොවේ. මීට පෙර භාවිතා කළ UNIVOTEC යන්න UoVT ලෙස කරලියට ගෙන ඒමට කටයුතු කළේ ම මේ නොදැනුම නිසා ඇති වූ ව්‍යාකූලත්වයට ලබාදුන් පිළිතුරක් ලෙසයි.
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (University of Vocational Technology) එම පන්නයේ පළමු ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලය වීම නිසා සුවිශේෂී වෙයි.
එය පිහිටුවන ලද්දේ 2008 අංක 31 දරණ පාර්ලිමේන්තු පනත මගින් එවකට තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ විෂයය පථය යටතේය. එය මේ වනවිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින රජයේ විශ්ව විද්‍යාලයකි.
වෘත්තීය අධ්‍යාපනය ලබන්නවුන්ට අවස්ථා ලෙස එවක පැවතියේ සීමිත ප්‍රමාණයක් වූ රජයේ සහ පෞද්ගලික අංශයේ පුහුණු ආයතන මගින් පවත්වනු ලැබූ සහතික පත්‍ර හෝ වෙනත් පාඨමාලාවන්. ඒවායිනුත් බොහොමයක් කර්මාන්තයේ අවශ්‍යතාවයන් සමග නොගැලපුන, සම්මතයකට අනුව නොසැකසුන සහ විධිමත් ආයතනික ව්‍යුහයකින් අනුව සංවිධානය නොවූ ඒවා. වෙනකක් තබා රජයේ පුහුණු ආයතන පවා පිළිගත් සම්මතයන්ට අනුව තම පාඨමාලා පවත්වාගෙන ගියේ නැහැ. ඒවා අතරේත් විෂමතා පැවතුනා. ඒ අනුව එකම ජීවනෝපායක් සදහා විවිධ ආයතන වලින් යොමුවන සුදුසුකම්ලාභීන් අතර නිපුණතා මට්ටම්වල අසමානතා සහ ගුණාත්මක වෙනස් කම් පැවතුනා.
2008 වර්ෂයේ පටන් මේ දක්වා ගතවුන දශකයකට වැඩි කාලය තුළ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලාංකේය තෘතියික අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ තම භූමිකාව ඉතා විශිෂ්ඨ ලෙස සනිටුහන් කොට තිබෙනවා. දහස් ගණනක් වූ ශ්‍රී ලාංකේය තරුණ පිරිස් වෙත උපාධි මට්ටමේ තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින්, ඒ ආශ්‍රිතව පර්යේෂණයේ නියැලෙමින්, නවෝත්පාදනය සහ තාක්ෂණික ව්‍යවසායකත්වය වර්ධනය කරනු පිණිස ස්වකීය දායකත්වය ලබාදෙමින් එය ඉටුකරන කාර්යභාරය සුවිශිෂ්ට එකක්.
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බදවාගැනීමේ පරිපාටිය
ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ (NVQ) පස්වන හෝ සයවන මට්ටමේ සුදුසුකම් උපයාගත් ඩිප්ලෝමාධාරීන්ට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන තම වෘත්තීය ක්ෂේත්‍රයට සම්බන්ධ උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමේ හැකියාව ලැබෙනවා.
ජාතික වෘත්තීය සුදුසුකම් පමණක් නොව ඒ හා සමානව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සභාව මගින් හෝ තෘතියික අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු කොමිසම විසින් පිළිගනු ලබන වෙනත් ඩිප්ලෝමා පාඨමාලා ගණනාවක්ද විශ්වවිද්‍යාලයට ඇතුලත්වීමේ සුදුසුකම් වශයෙන් පිළිගනු ලබනවා
ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව ඔස්සේ පැමිණෙන අයදුම්කරුවන් බදවා ගැනීම සිදු කරනු ලබන්නේ තෝරාගැනීමේ ලිඛිත පරීක්ෂණයක් මගින්. එයට හේතුව එක් එක් උපාධි පාඨමාලා සඳහා ඇති ඉල්ලුමේ ස්වරූපයයි. මීට අමතරව 2017 වර්ෂයේ පටන් අපොස උසස් පෙළ විභාගය තාක්ෂණික විෂයය ධාරාව ප්‍රමුඛව වෙනත් විෂයයධාරාවන්ගෙන් සමත්ව උසස් ප්‍රථිඵල පෙන්වූ සීමිත අයදුම්කරුවන් පිරිසකට ද ඇතුළු වීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ 100% ක පූර්ණ ශිෂ්‍යත්වයක් ලෙසින්. උසස් පෙළ සමත්ව අවස්ථා ලබාගන්නා සිසුන් වෙත කර්මාන්තගත අනාවරණ වැඩසටහනක් ද (Industry Exposure programme) විශ්වවිද්‍යාලය මගින් ලබා දෙනු ලබනවා.
එය උසස් පෙළ සමතුන් ලද අගනා අවස්ථාවක් බව පැහැදිලිවම සඳහන් කල යුතුව ඇත.
වෘත්තීය තාක්ෂණ විද්‍යාලය මේ වන විට බොහෝ පහසුකම් වලින් සමන්විත උපරිම ගුණාත්මක බවකින් යුතු සුන්දර පරිසරයක පිහිටි රාජ්‍ය විශ්ව විද්‍යාලයක් එමෙන්ම කඩිනමින් අයදුම්පත් කැඳවා කඩිනමින් පාඨමාලා අරම්බව වන සුලුතරයක් රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන අතර වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ද ඇති බව සඳහන් කල යුතු වේ. මෙම විශ්වවිද්‍යාලය හරහා ඔබට තාක්ෂණවේදී උපාධි ලබා ගැනීමේ හැකියාව තිබේ.
ඔබ 2022/2023 උසස් පෙළ සමත් අයකු නම් සීමිත ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ, ඔබ උසස් පෙළ හැදෑරු විෂය ධාරාවන්ට අනුරූපව පහත පාඨමාලා සඳහා අයදුම් කිරීමේ හැකියාව තිබේ,
1. Bachelor of Engineering Technology - Mechatronics Technology - ඉංජිනේරු තාක්ෂණවේදය හෝ භෞතීය විද්‍යා විෂය ධාරාව
2. Bachelor of Engineering Technology - Building Services Technology - ඉංජිනේරු තාක්ෂණවේදය හෝ භෞතීය විද්‍යා විෂය ධාරාව
3. Bachelor of Engineering Technology - Manufacturing Technology - ඉංජිනේරු තාක්ෂණවේදය හෝ භෞතීය විද්‍යා විෂය ධාරාව
4. Bachelor of Engineering Technology - Construction Technology & Resource Management - ඉංජිනේරු තාක්ෂණවේදය හෝ භෞතීය විද්‍යා විෂය ධාරාව
5. B. Tech. in Food Process Technology - ජීව පද්ධති තාක්ෂණවේදය හෝ ජීව විද්‍යාව
6. B. Tech. in Software Technology – භෞතීය විද්‍යා විෂය ධාරාව හෝ ICT විෂයක් ලෙස ඇතුලත් වන පරිදි ඉංජිනේරු තාක්ෂණවේද විෂය ධාරාව
7. B. Tech. in Multimedia & Web Technology – භෞතීය විද්‍යා විෂය ධාරාව හෝ ICT විෂයක් ලෙස ඇතුලත් වන පරිදි ඉංජිනේරු තාක්ෂණවේද විෂය ධාරාව
8. B. Tech. in Network Technology - භෞතීය විද්‍යා විෂය ධාරාව හෝ ICT විෂයක් ලෙස ඇතුලත් වන පරිදි ඉංජිනේරු තාක්ෂණවේද විෂය ධාරාව
9. B. Tech. in Industrial Management - වාණිජ / ඉංජිනේරු තාක්ෂණවේදය / භෞතීය විද්‍යාව
10. B. Tech. in Film & Television Production Technology (සති අන්ත) - ඕනෑම විෂය ධාරාවක්
11. B. Tech. in Quantity Surveying - ඉංජිනේරු තාක්ෂණවේදය හෝ භෞතීය විද්‍යා විෂය ධාරාව
12. B. Edu. in English Language Training – උසස් පෙළ ඉංගිසි විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් හෝ පොදු ඉංග්‍රීසි විෂය සඳහා ‘A’ සාමාර්ථයක්
13. B. Tech. in Media Arts Production Technology - ඕනෑම විෂය ධාරාවක්
14. Bachelor of Hotel Management - ඕනෑම විෂය ධාරාවක්
ඔබ NVQ( හෝ පිළිගත් වෙනත් සුදුසුකම් )හරහා උපාධිය සම්පුර්ණ කිරීමට බලාපොරොත්තු වන අයෙක් නම් ඒ සඳහා මාර්ගය මෙසේය,
හැදෑරීමට අදහස් කරන උපාධි පාඨමාලාවට අනුරුප වන,
1. NVQ 05 හෝ ඉහළ සුදුසුකමක්
2. අදාල ක්ෂේත්‍රයන්ගේ HNDE , HNDQS , HNDA , NDT , NDES , NDET හෝ සමාන සුදුසුකමක්
ඉහත පරිදි ඔබ සුදුසුකම් සැපිරිය යුත්තේ පහත දක්වා ඇති උපාධි පාඨමාලාවන් ඉදිරියෙන් දක්වා ඇති ක්ෂේත්‍රයන් ඔස්සේ වේ.
1. Bachelor of Engineering Technology - Mechatronics Technology - මෙකාට්‍රොනික් , විදුලි , විද්‍යුත් , යාන්ත්‍රික , නිෂ්පාදන සහ මෝටර් රථ තාක්ෂනය , ජෛව විද්‍යාව, රෝබෝ තාක්ෂණය, ද්‍රව හයිඩ්‍රොලික තාක්ෂණය
2. Bachelor of Engineering Technology - Building Services Technology - ඉදිකීරිම් , සිවිල් , යාන්ත්‍රික , ශීතකරණ හා වායු සමීකරණ , යාන්ත්‍රික , ගොඩනැගිලි සේවා , විද්‍යුත් හා සන්නිවේදන.
3. Bachelor of Engineering Technology - Manufacturing Technology - නිෂ්පාදන , මෙකාට්‍රොනික් , ශීතකරණ හා වායු සමීකරණ , යාන්ත්‍රික , මෝටර් රථ තාක්ෂනය , පෑස්සුම් , ෆාම් යන්ත්‍රෝපකරණ , රසායනික හා බහු අවයවික තාක්ෂණ, ද්‍රව හයිඩ්රෝලික තාක්ෂනය
4. Bachelor of Engineering Technology - Construction Technology and Resource Management - ඉදිකිරීම් තාක්ෂනය, ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂනය
5. B. Tech. in Food Process Technology - ආහාර තාක්ෂනය , කෘෂිකර්මය , සුපවේද , පශු සම්පත් , සහ කිරි නිෂ්පාදන , අහාර තත්ත්ව සහ ආහාර රසායන විද්‍යාව
6. B. Tech. in Software Technology - තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ඇතුළු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට සම්බන්ධ ක්ෂේත්‍රයන්
7. B. Tech. in Multimedia & Web Technology - තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ඇතුළු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට සම්බන්ධ ක්ෂේත්‍රයන්
8. B. Tech. in Network Technology - - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය , විදුලි සංදේශ ඇතුළු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට සම්බන්ධ ක්ෂේත්‍රයන්
9. B. Tech. in Industrial Management Technology - ඕනෑම තාක්ෂණික හෝ වෘත්තීය ක්ෂේත්‍රයක්
10. B. Tech. in Film & Television Production Technology (සති අන්ත) - සිනමා , ටෙලිවිෂන් , වීඩියෝ නිෂ්පාදන , ඩිජිටල් මාධ්‍ය තාක්ෂණය, තොරතුරු තාක්ෂණ, ඉලෙක්ට්‍රොනික් තාක්ෂණ ය
11. B. Tech. in Quantity Surveying - ප්‍රමාණ සමීක්ෂණ
12. B. Tech. in Media Arts Production Technology (සතියේ දින) - ජන මාධ්‍ය නිෂ්පාදන , සන්නිවේදන , මුද්‍රිත , රේඩියෝ , සිනමා , ටෙලිවිෂන් , ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍ය , නව මාධ්‍ය , ජනමාධ්‍යවේදය හෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සභාව මගින් පිළිගන්නා සුදුසුකම් සහිත පාසල් අධ්‍යාපනය හෝ පිළිගත් අධ්‍යාපන ආයතන වල සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය ඉගැන්විම.
13. Bachelor of Hotel Management – Travel and Tour Management, Event Management, Hospitality Management හෝ Hotel & Tourism NVQ 05 හෝ ඉහළ සුදුසුකමක්, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි පුහුණු ආයතන හෝ විශ්වවිද්‍යාලයීය අධ්‍යයන සභාව මගින් පිළිගන්නා සුදුසුකමක්
14. Bachelor of Education in English Language Teaching (B. Ed. ELT) - තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් පිළිගන්නා ඉංග්‍රීසි අධ්‍යාපනය පිළිබඳව NVQ 05 මට්ටමේ සුදුසුකමක් , HNDE(English) , ජාතික අධ්‍යාපන ආයතනය මගින් අධ්‍යාපන පීඨ වල පවත්වනු ලබන ඉංගිසි භාෂාව ඉගැන්විම පිළිබඳව ජාතික ඩිප්ලෝමාව , ශ්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය හෝ UoVT මගින් පිරිනැමූ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිලිබඳ ජාතික පුහුණු තාක්ෂණ ඩිප්ලෝමාව , ශ්‍රී ලංකා උසස් කාර්මික ආයතනය මගින් පිරිනමනු ලබන ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උසස් ජාතික ඩිප්ලෝමාව , ශ්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය හෝ UoVT මගින් පිරිනැමූ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඩිප්ලෝමාව සහ විශ්වවිද්‍යාලයීය අධ්‍යයන සභාව මගින් පිළිගනු ලබන ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ඇතුලත් වන සදුසුකම් සහතිකයක්.