08/10/2025
ලංකා ඛනිජතෙල් සංස්ථාව විසින් ඩෙල්ෆ් දූපතේ පවුල් දහස් ගණනකට හා සංචාරක කර්මාන්තයට සෙත සලසමින්, ඉතිහාසයේ ප්‍රථම වරට මිලියන 50 කට අධික වියදමින් අංග සම්පූර්ණ පිරවුම්හලක් ඉදිකිරීමට සැලසුම් කරයි.
මෙතෙක් කල් ඩෙල්ෆ් දූපතේ තෙල් වෙළදාම සිදුකරනු ලැබූවේ බැරල් හෝ කුඩා ඇසුරුම් මගිනි. මෙයට ප්‍රධානම හේතුව වූයේ ඩෙල්ෆ් දූපතට ලගාවීමට තිබූ එකම මාර්ගය බෝට්ටු වීමයි. පසුගියදා ඩෙල්ෆ් දූපතට සංචාරය කරන ලද ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිතුමා, කළමනාකාර අධ්‍යක්‍ෂතුමා ඇතුලු ඉහල පාලන අධිකාරිය ඩෙල්ෆ් දූපතේ ඉන්ධන පිරවුම්හලක් නොමැති නිසා එහි වෙසෙන ජනාවට, විදුලිබල මණ්ඩලයේ බලාගාරයට හා සංචාරක කර්මාන්තයට ඇති අපහසුතාව නිසිලෙස හදුනාගැනින. එහි ප්‍රථිඵලයක් ලෙස, වහාම ක්‍රියාත්මක වූ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ඩෙල්ෆ් දූපතේ නව ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. මෙහි මුල් පියවර වශයෙන් පසුගිය හතරවන දින (2025 ඔක්තෝබර් 4) ඛනිජතෙල් නීතිගත සංස්ථාව හා ඩෙල්ෆ් සමූපකාර සමිතිය අතර ඉන්ධන පිරවුම්හලක් සදහා අවශ්‍ය සංවර්ධන ගිවිසුම යාපනයේ කුරිකට්ටුවාන් ජැටිය අසබඩදී අත්සන් කරන ලදී. මෙම ඉදිකිරීමෙන් පසුව ඛනිජතෙල් සංස්ථාවේ ඉන්ධන ටැංකි රථ නාවික හමුදාවේ අධාරයෙන් ඩෙල්ෆ් වෙත ප්‍රවාහනය කෙරෙන අතර, එමගින් ඩෙල්ෆ් සමූපකාර සමිතිය සතු නව ඉන්ධන පිරවුම්හලට මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි බලාගාරයටද සෘජුවම ඉන්ධන ටැංකි රථ මාර්ගයෙන් ඉන්ධන ලබාදෙනු ලබයි. එමගින් දූපත තුල ඉන්ධන මිල සාමාන්‍ය කරනය කෙරෙන අතර, ඉන්ධන හිගයකින් තොරව ලබාදීමටද හැකිවේ. එසේම මෙතෙක් කල් පැය හත අටක් තිස්සේ ටැංකිගත කිරීම සිදුවූ විදුලිබල මණඩලයේ තෙල් සැපයුම මින් ඉදිරියට පැයකට අඩු කාලයකින් කරගත හැතිවී එහි කාර්යක්ෂමතාව ඉහල යනු ඇත. මෙම උත්සවයේදී අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, ජනක රාජකරුණා මහතා ප්‍රකාශකර සිටියේ, මෙසේ ඉන්ධන ලාභ වීම හා සුලභ වීම මගින් ඉතා දුර්ලභ දර්ශනයක් ලෙස සැලකෙන කැළෑ අශ්වයන් නැරඹීම, දැකුම්කලු වෙරළතීරය හා ස්වාභාවික පරිසරය නැරඹීම මුල්කොටගත් සංචාරක කර්මාන්තය සංවර්ධනය සිදුවන අතර, එය රටේ ආර්ථිකයට මෙන්ම දූපතේ ජනජීවිතය නගා සිටුවන ඉවහල් වන බවයි. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශකොට සිටියේ විදුලිබල මණ්ඩලයට ඉන්ධන සුලභ කිරීම මගින් අඛණ්ඩ විදුලිබල සැපයුමක් ද, කොළඹ පවතින මිලටම ඉන්ධන, පිරවුම්හලක් මගින් ලබාගැනීමට හැකිවීම තුල අබණ්ඩ බලශක්ති සැපයුමක්ද සිදුවන අතර, එය දහස් ගනනක් වූ ඩෙල්ෆ් දූපතේ ජන ජීවිතයට මෙන්නම සංචාරක කර්මාන්තයට ද ධනාත්මකව බලපාන බවයි. එසේම මේ සදහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 50කට අධික මුදලක් වැයකරන බව ද සෑම විටම රටේ ජනතාවට හිතකර මෙන්ම හා පහසු මිලට සේවා සැපයීම තමාගේ මෙන්ම සංස්ථාවේ ඒකායන අරමුණ බවද ඒ මහතා ප්‍රකාශ කරන ලදී. එමෙන්ම සංස්ථාව මගින් ජනතාවට අවශ්‍ය කරන ලිහිසි තෙල්, කෘෂි රසායන යනාදිය පහසු මිලට, ඉතා ඉහල, ජාත්‍යන්තරව පිලිගත් ප්‍රමිතියකින් යුතුව ලබාදෙන බවද ඒ මහතා සදහන් කරන ලදී. මෙම අවස්ථාව සදහා අමාත්‍ය බිමල් රත්නායක මහතා, ප්‍රදේශීය දේශපාලන අධිකාරියේ මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා, කළමණාකාර අධ්‍යක්‍ෂන ආචාර්යය මයුර නෙත්තිකුමාරගේ, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරුන් වන සමන්ත ගුණවර්ධන හා මේනක ජීවසිරි, අලවි කලමනාකාර ශන්මුගනාදන්, උතුරේ ප්‍රාදේශීය කලමනාකාර ශිවරාමලිංගම් , ඩෙල්ෆ් සමූපකාර සමිතියේ සභාපති තුමා, සාමාන්‍ය අධිකාරී තුමා , එහි සාමාජික මහත්ම මහත්මීන් ඇතුලු මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය