23/10/2026
තත්පර, මිනිත්තු, පැය හැදුනේ කෙසේද?
--------------------------------------
දින දර්ශනය යනු අප සියළු දෙනාම කුඩා කල සිට දැක ඇති, අපේ ගෙවල්වල අනිවාර්යයෙන්ම තියන දෙයකි. නමුත් ඇත්තටම දින දර්ශනය හැදුනේ කොහොමද කියා ඔබ දන්නවාද? පෘථිවිය එක් වටයක් භ්රමණය වීමට කොපමණ වේලාවක් ගත වෙනවාද කියා ඇසුවොත් බොහෝ දෙනා පවසන්නේ පැය 24 ක් බවයි. හරියටම කීයද කියා ඇසුවොත් පිළිතුර ලෙස පවසන්නේ පැය 23 මිනිත්තු 56 තත්පර 4 ක් බවයි. එසේ නම් අපි දිනකට පැය 24 ක් ලෙස සලකන්නේ ආසන්න වැටයීමක් ලෙසින්ද? එසේනම් සැබෑ කාලය හා අප සලකන පෘථිවි භ්රමණ කාලය අතර වෙනස නිසා සති කිහිපයක් යන විට සැබෑ වෙලාවේ හා ඔරලෝසුවේ වේලාවේ පැහැදිලි වෙනස්කමක් මතු විය යුතු නොවේද?
නැහැ. මන්දයත් සූර්යයාට පෘථිවිය වටා එක් වටයක් යෑමට පැය 24 ක් ගත වේ. ඔරලෝසුව හා දින දර්ශන අප සකස් කරන්නේ අපේ පහසුව සදහායි. ඒ නිසා ඇත්තටම පෘථිවිය භ්රමණය වූවත් අපගේ පහසුවට සූර්යයා පෘථිවිය වටා ගමන් කරන ලෙසින් සැලකීමේ වරදක් නැත. පෘථිවිය සිදු කරන එකම චලිතය භ්රමණය පමණක් නොවෙයි. එය පරිභ්රමණයත් වේ. මේ නිසා පෘථිවිය පැය 23 මිනිත්තු 56 තත්පර 4 ක් තුළ එක් වටයක් භ්රමණය වූවත් සූර්යයාගේ පිහිටීම මෙම කාලය තුළ වෙනස් වේ. ඔබ ලයිට් කණුවකට මුහුණ ලා සිට ගන්න. දැන් ඔබ වාමාවර්තව කැරකෙමින් දකුණු පැත්තට ගමන් කරන්න. ඔබ එක් වටයක් අවසන් කරන විට ලයිටි කණුව දැන් ඔබට මුහුණලා පවතින්නේ නැත. එය දැන් තියෙන්නේ මදක් වම් පසිනි. මේ නිසා නැවත ලයිට් කණුව නැවත මුහුණ ලා සිටින සේ පැවතීමට නම් ඔබට එක් වටයයි තවත් සුළු ප්රමාණයක් කැරකීමට සිදු වේ. පෘථිවියේ චලියත් මේ ආකාරයටම සිදු වේ. ඒ නිසා පෘථිවිය එක් වටයක් භ්රමණය වීමට පැය 23 මිනිත්තු 56 තත්පර 4 ක් ගත වූවත් සූර්යයා නැවත කලින් පැවති ස්ථානයටම පැමිණීමට පැය 24 ක් භ්රමණය විය යුතු වේ. මේ නිසා "දවසක දිග" පැය 23 මිනිත්තු 56 තත්පර 4 ක් නොව ඇත්තටම පැය 24 ක් වේ. පෘථිවිය සම්පූර්ණ වටයක් භ්රමණය වීමට ගත වන කාලය Sidereal Day ලෙස හදුන්වන අතර සූර්යයාගෙ පිහිටීමට සාපේක්ෂව දවසක් ලෙස සලකන කාලය Solar Day ලෙස හදුන්වයි. අප වැඩ කරන දිනය තීරණය වන්නේ සූර්යයාගේ පිහිටීමට සාපේක්ෂව නිසා පැය 24 ක් ලෙස ඔරලෝසු වැඩ කිරීම ගැටළුවක් ඇති කරන්නේ නැත.
එතකොට එක් දිනයක් පැය 24 කට බෙදලා තියෙන්නේ ඇයි? අපි ගණන් කරන විට අතේ ඇගිලි භාවිතා කරයි. නමුත් එක් අතක ඇත්තේ ඇගිලි 5 කි. අත භාවිතා කරගෙන ඊට වඩා ගණන් කිරීමට නොහැකිද? ක්රි.පූ. 1,500 කාලයේ ඊජිප්තු ශිෂ්ඨාචාරයේ වැසියන් ගණන් කිරීම සදහා අතේ ඇගිලි පුරුක් භාවිතා කර ඇත. එක් අතක මහපටැගිල්ල හැර අනිත් ඇගිලි හතරේ පුරුක් 12 ක් ඇති අතර මහපටැගිල්ල මගින් ඒවා ස්පර්ශ කරමින් ගණන් කිරීම පහසු වේ. මේ නිසා ඒ කාලයේ වේලාව දැන ගැනීමට භාවිතා කළ සූර්ය තැටිය කොටස් 12 කට බෙදමින් දිවා කාලය පැය 12 කට බෙදූ අතර රාත්රියත් එලෙසම කොටස් 12 කට වෙන් කර පැය 24 ක දිනයක් භාවිතයට එක් කරන ලදී. රාත්රී කාලයේ වේලාව දැන ගැනීමට අහසේ තරු 12 ක් යොදා ගෙන ඇත. කෙසේ නමුත් මෙම කාලයේ සූර්යාලෝකය වැටෙන කෝණය හා හෙවණැලිවල ස්වභාවය අනුව මෙම බෙදීම සිදු කළ අතර ඍතු වෙනස් වන විට එක් එක් පැයක දිග වෙනස් වේ. පැයක කාලය සමාන හා සම්මත වූයේ 14 වන සියවසේදී පමණ යාන්ත්රික ඔරලෝසු නිර්මාණය වූ පසුවයි.
ඊජිප්තු ශිෂ්ඨාචාරයට සමකාලීන වූ මෙසපොතේමියාවේ බැබිලෝනියානු ශිෂ්ඨාචාරය තුළ අංක 60 පාදය ලෙස සලකමින් ගණනය කිරීම් කර ඇත (Sexagesimal). ඔවුන් 60 පාදය ලෙස තෝරා ගැනීමට හේතුවක් වී ඇත්තේ 60 යනු 2, 3, 4, 5, 6, 10, 12, 15 හා 30 ආදී සංඛ්යා ගණකින් බෙදෙන සංඛ්යාවක් වීම නිසායි. මේ නිසා මොවුන් පැයක් 60 ට බෙදා මිනිත්තු ලෙස භාවිතා කළ අතර මිනිත්තු තවත් වරක් 60 ට බෙදා තත්පර ලෙස භාවිතා කරන ලදී.
එසේ නම් සතිය, මාසය යන සංකල්ප හදුන්වා දෙන්නේ කවුද? මෙයටත් ස්තූති කළ යුත්තේත් බැබිලෝනියානුවන්ටමයි. අහසේ තරු හැරුණු විට පියවි ඇසට පෙනෙන තවත් ආකාශ වස්තු 7 ක් ඇත. ඒ සූර්යයා, චන්ද්රයා සහ පියවි ඇසට පෙනෙන ග්රහලෝක 5 වන බුධ, සිකුරු, අගහරු, බ්රහස්පති හා සෙනසුරුයි. මේ අනුව ඔවුන් දින 7 ක සතිය යන සංකල්පය හදුන්වා දෙන අතර චන්ද්රයාගේ කලාවන් චක්රය අනුව එන චන්ද්ර මාසය දින 28 ක් නිසා එයත් 7 න් බෙදෙන සංඛ්යාවක් වේ. මේ නිසා දින හතේ සතිය සහ සති හතරේ චන්ද්ර මාසය යන ක්රමය භාවිතා කර ඇත. ඔවුන් එම ආකාශ වස්තු 7 යොදා ගෙන එක් එක් දිනයන්ට නම් දැමූ අතර රෝම ශිෂ්ඨාචාරයෙන් මෙම ක්රමය තවත් සම්මත විය.
අතීත රෝම දින දර්ශනයේ මාස 10 ක් අන්තර්ගත විය. ක්රි.පූ. 45 දී රෝමයේ පාලක ජූලියස් සීසර්ගේ අණ පරිදි දින දර්ශනයේ ලොකු වෙනස්කම් කිහිපයක් සිදු කරන ලදී. ඒ අනුව ඍතු සමග ගැලපීමට මාස 12 ක අවුරුද්දක් හදුන්වාදෙන අතර ඒ වන විට හදුනාගෙන තිබූ සූර්ය චක්රය අනුව ගැලපීමට වසර 4 කට වරක් අධික අවුරුද්දක් භාවිතා කිරීමට සම්මත විය. මේ දින දර්ශනය හදුන්වන්නේ ජූලියානු දින දර්ශනය නමිනි. කෙසේ නමුත් වසර 4 කට වරක් අධික අවුරුද්දක් භාවිතා කිරීමෙන් එම දින දර්ශනයේ සම්මත වසරක කාලය දින 365+(1/4) = 365.25 ක් ලෙස භාවිතා වේ. නමුත් පෘථීවියට සූර්යයා වටා එක් වරක් යෑමට සැබෑවින්ම ගත වන කාලය මීට වඩා මදක් අඩු වේ. එනම් දින දර්ශනය සූර්යයාට වඩා මන්දගාමී වේ. මේ නිසා කාලයක් ගත වන විට දින දර්ශනය සැබෑවටම සූර්යයාගේ හැසිරීමට වඩා පිටුපසින් පැමිණෙයි. මේ ගැටළුව හදුනාගත් 8 වන ග්රෙගරි පාප්වහන්සේ පූජකවරන්ගේ උපකාරය ඇතිව සූර්යයාගේ හැසිරීමට ඉතාමත් හොදින් ගැලපෙන දින දර්ශනයක් සකස් කිරීමට කැප වුණි. ඒ අනුව ඔවුන් හදුනාගත්තේ වසර 4 කට වරක් අධික අවුරුද්දක් එකතු කිරීමෙන් දින දර්ශනය සූර්යයාට වඩා මන්දගාමී වන අතර වසර 100 ක් ගත වන විට මේ වෙනස එක් දවසක් තරම් විශාල වන බවයි. මේ නිසා වසර 100 කට වරක් අධික අවුරුද්ද ඉවත් කිරීම මගින් නැවත දින දර්ශනය සූර්යයාට නැවත සමපාත විය යුතුයි. කෙසේ නමුත් වසර 100 කදී අධික අවුරුදුවල ශේෂයන් ඉතිරි වීමෙන් එකතු වන කාලය දිනකට ආසන්න වූවත් එය සම්පූර්ණයෙන්ම දිනයක් වන්නේ නැත. ඒ නිසා වසර 100 කට වරක් අධික අවුරුද්ද ඉවත් කර දිනයක් අඩු කිරීම මගින් නැවත දින දර්ශනය සූර්යයාට වඩා වේගවත් වේ. එයට විසදුම වන්නේ වසර 400 කට වරක් නැවත අධික අවුරුද්ද එකතු කිරීමයි.
ඒ අනුව ග්රෙගරියානු දින දර්ශනයේ වසරක් දින 365 + (1⁄4) − (1⁄100) + (1⁄400) = 365.2425 ක් ලෙස භාවිතා වේ. මෙය වසර දහස් ගණනකට ස්ථාවර දින දර්ශනයකි. වර්තමානයේ ලෝකයේ භාවිතා වන මේ ග්රෙගරියානු දින දර්ශනය 1582 ඔක්තෝබර් මස භාවිතයට ගැනීම ආරම්භ කරන ලදී. මේ ආකාරයට මිනිසා විසින් පෘථිවියේ මූලික චලිතයන් දෙක වන භ්රමණය හා පරිභ්රමණය නිසි ආකාරව ගණනය කර ගෙන එදිනෙදා ජීවිතයට භාවිතා කිරීම හොදින් සිදු කර ඇත. නමුත් අපට බලපාන පෘථිවියේ තවත් හැසිරීම් කිහිපයක් ඇත. එයින් ප්රධාන එකක් වන්නේ ඍතු භේදයයි.
පෘථිවියේ සමක තලය, පෘථිවියේ කක්ෂ තලයට අංශක 23.5 ක කෝණයකින් ආනත වේ. මේ නිසා පෘථිවිය සූර්යයා වටා යන විට හිරු එළිය පෘථිවිය මතට වැටෙන කෝණය වෙනස් වේ. එනම් සූර්යයා මුදුන් වන ස්ථානය වෙනස් වේ. සමක තලයේ ආනතිය අංශක 23.5 නිසා වසරක් තුළ සූර්යයා සමකයේ සිට අක්ෂාංශ 23.5 ක් උතුරට හා දකුණට ගමන් කරයි. මෙම සීමාවන් දෙක කර්කටක නිවෘත්තිය හා මකර නිවෘත්තිය ලෙස හදුන්වයි. සූර්යයා සමකය පසු කරමින් උතුරට ගමන් කරන දිනය වසන්ත විෂුවය (Vernal Equinox) ලෙස හදුන්වන අතර එය සාමාන්යයෙන් මාසයේ සිදු වේ. මෙදින ධ්රැව දෙක හැරුණු විට මුළු ලෝකයටම දිවා රාත්රී කාල පැය 12 බැගින් සමානව ලැබේ. එයින් පසුව සූර්යයා දිගටම උතුරට ගමන් කරන අතර උතුරු අර්ධගෝලයේ රටවල්වල දිවා කාලයත් දකුණු අර්ධගෝලයේ රටවල්වලට රාත්රී කාලයත් දිගු වීම ආරම්භ වේ. වසන්ත විෂුවය දා උත්තරධ්රැවයේ ක්ෂිතිජය ඔස්සේ ගමන් කරන සූර්යයා පසුදින සිට ක්ෂිතිජයෙන් ඉහළට එසවී පැය 24 ම හිරු එළිය ලබා දෙයි. ඒ අතර දක්ෂිණ ධ්රැවයේ හිරු බැසගොස් සම්පූර්ණ රාත්රී කාලය එළඹේ. සූර්යයා කෙමෙන් කෙමෙන් උතුරු දෙසට යන විට උත්තරධ්රැවයේ සිට පහළට ඇති ප්රදේශ කෙමෙන් කෙමෙන් පැය 24 ම දිවා කාලයට ඇතුල් වේ. එලෙසම දක්ෂිණ ධ්රැවයේ සිට ඉහළට ඇති ප්රදේශ කෙමෙන් කෙමෙන් පැය 24 ම රාත්රී කාලයට ඇතුල් වේ. සූර්යයා මාස 3 කින් ජුනි මස කර්කටක නිවර්තනයට මුදුන් වන අතර මෙදින ආක්ටික් වෘත්තය මත ඇති ප්රදේශවලට පැය 24 ම හිරු එළිය ලැබේ. එතින්න ඉහළට ඇති ප්රදේශ ඒ වන විටත් පැය 24 ම දිවා කාලය තුළ පවතී. ඇන්ටාක්ටික් වෘත්තය මත ඇති ප්රදේශවලට මෙදින පැය 24 ම රාත්රිය වන අතර එයින් පහළ තිබූ ප්රදේශ ඒ වන විටත් පැය 24 ම රාත්රියේ පවතී. සමකය හා ආක්ටික වෘත්තය අතර ඇති ප්රදේශවලට ඉතා දිගු දිවා කාලයක් ලැබෙන අතර අක්ෂාංශය වැඩි වන දිවා කාලයේ දිග වැඩි වේ. එලෙසම සමකයේ සිට ඇන්ටාක්ටික් වෘත්තය දක්වා ඇති ප්රදේශවලට අක්ෂාංශය වැඩි වන ආකරයට රාත්රී කාලය වැඩි වී ඇන්ටාක්ටික් වෘත්තය මතදී එය පැය 24 ම වේ. ගිම්හාන නිවෘත්තිය (Summer Solstice) නමින් හදුන්වන මෙදිනෙන් පසු නැවත සූර්යයා පහළට එන අතර නැවත සැප්තැම්බර් මස සමකය පසු කරමින් දකුණට ගමන් කරයි. සරත් විෂුවය (Autumn Equinox) ලෙස හදුන්වන මෙදින නැවත ධ්රැව දෙකට හැර මුළු ලෝකයටම දිවා හා රාත්රී කාල පැය 12 බැගින් ලැබේ. මෙදින මාස 6 ක දිවා කාලයකින් පසු උත්තරධ්රැවයෙන් හිරු බැස යන අතර දක්ෂිණ ධ්රැවයට මාස 6 ක රාත්රිය අවසන් කරමින් හිරු නැග එයි. ඉන්පසු ඉහත සදහන් කළ සියල්ල විරුද්ධ පැත්තට ලෝකයට සිදු වේ. දෙසැම්බර් මස සිසිර නිවෘත්තිය (Winter Solstice) දා මකර නිවර්තනයට හිරු මුදුන් වන අතර එදින ඇන්ටාක්ටික් වෘත්තයට පැය 24 ම හිරු එළියත් ආක්ටික් වෘත්තයට පැය 24 ම රාත්රී කාලයත් ලැබේ. ආක්ටික් වෘත්තය හා ඇන්ටක්ටික් වෘත්තය අතර ප්රදේශවල දිවා රාත්රී කාලවල දිග අක්ෂාංශය අනුව වෙනස් වේ.
පෘථිවියේ මෙම ඍතු භේදයට බලපාන මේ සමක තලයේ ආනතිය කාලයත් සමග වෙනස් වෙයිද? ඔව්. පෘථිවියේ භ්රමණය හා පරිභ්රමණයට අමතරව පෘථිවිය සිදු කරන තවත් චලයන් කිහිපයක් ඇත. මේවා හදුන්වන්නේ Milankovitch චක්ර ලෙසිනි. එයින් එක් චක්රයක් වන්නේ පෘථිවියේ ආනතිය (Axial Tilt) වෙනස් වන චක්රයයි. මේ මොහොතේ අංශක 23.44 ක පැවතියත් මෙම අගය 22.1° සිට 24.5° දක්වා වෙනස් වන අතර මේ එක් චක්රයක් අවසන් වීමට වසර 41,000 ක් පමණ ගත වේ. මීට අමතරව පෘථිවියේ තවත් එක් Milankovitch චක්රයක් වන්නේ පෘථිවියේ අක්ෂීය පූර්වායනයයි (Axial Precession). බඹරයක් බිම කැරකෙන විට එහි භ්රමණ අක්ෂය වටේ කරකෙන අයුරු ඔබ දැක ඇති. පෘථිවියත් එලෙසම තමන්ගේ භ්රමණ අක්ෂය මුහුණලා සිටින දිශාව වෙනස් කරයි. මෙය වසර 25,771.5 ක චක්රයක් වන අතර කාලයත් සමග පෘථිවියේ උත්තරධ්රැවය මුහුණලා සිටින දිශාව පෝලාරිස් තරුවෙන් ඉවත් වේ. එවිට තවදුරටත් පෝලාරිස් ධ්රැව තාරකාව වන්නේ නැත. තවත් වසර 13,000 කින් පමණ පෘථිවිය තම ඉලිප්සාකාර කක්ෂයේ සූර්යයාට ආසන්නතම ස්ථානයේදී සූර්යයා දෙසට ආනත වන පරිදි පූර්වායනය වේ. එවිට උතුරු අර්ධගෝලයට ඇති වන ගිම්හානය ඉතා ඉහළ උෂ්ණත්වයක් ලබා දෙයි.
මීට අමතරව තවත් එක් Milankovitch චක්රයක් වන්නේ පෘථිවියේ කක්ෂයේ විකේන්ද්රීයතාව (Eccentricity) හෙවත් ඉලිප්සාකාර බව චක්රාකාරව වෙනස් වීමයි. වසර 100,000 ක වෙනස් වීමක් වන මෙහිදී කක්ෂය ආසන්න වෘත්තයක සිට ඉලිප්සාකාර කක්ෂයක දක්වා පෘථිවියේ කක්ෂය වෙනස් කරයි. ඉහළම ඉලිප්සාකාර අවස්ථාවේදී කක්ෂයේ සූර්යයාට දුරින්ම පවතින ස්ථානයට වඩා ආසන්නයේම පවතින ස්ථානයේ සූර්ය විකිරණය 23% කින් වැඩි වේ.