06/08/2026
SpaceX සමාගමේ රොකට්ටුව චන්ද්‍රයාගේ ගැටුණු ස්ථානය සොයා ගනියි
--------------------------------------------------------------------
ඊයේ (05) දහවල් 12.05 ට පමණ SpaceX සමාගමේ Falcon 9 රොකට්ටුවක දෙවන අදියරක් චන්ද්‍රයා මතට කඩාගෙන වැටුණු බව ඔබ දන්නවා ඇති. මේ වන විට ඒ ස්ථානයේ ඡායාරූපයක් ලැබී තියනවා. ඒ චන්ද්‍ර කක්ෂයේ පවතින දකුණු කොරියාවේ Danuri අභ්‍යවකාශ යානය මගින්.
මේ සිදුවීම ගැන වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 👇
2025 වසර ආරම්භයේදී ඇමරිකාවේ Firefly Aerospace සමාගමේ පළමු Blue Ghost යානය සහ ජපානයේ ispace සමාගමේ දෙවන Hakuto-R යානය චන්ද්‍රයා බලා දියත් කළ SpaceX සමාගමේ Falcon 9 Block 5 රොකට්ටුවේ දෙවන අදියරත් පෘථිවියෙන් ඉතාමත් දුරට ගමන් කරන කක්ෂයකට ඇතුල් විය. Blue Ghost යානය සාර්ථකව චන්ද්‍රයා මතට ගොඩබැස්ස අතර Hakuto-R යානයේ ගොඩබැසීම අසාර්ථක වී චන්ද්‍රයා මතට කඩා වැටුණු බව ඔබට මතක ඇති.
තමන්ගේ මෙහෙයුම සාර්ථකව අවසන් කළ Falcon 9 දෙවෙනි අදියර ඊයේ වන තුරු තිබුනේ පෘථිවිය වටා ඉහළ ඉලිප්සාකාර කක්ෂයකයි. එම කක්ෂයේ පහත්ම ස්ථානය කිලෝමීටර් 220,000 ක් පමණ වන අතර ඉහළම ස්ථානය කිලෝමීටර් 510,000 ක් පමණ විය. ඒ නිසා මේ දෙවන අදියර එහි දින 26 ක ආවර්ත කාලයක් ඇති කක්ෂයේ ගමන් කරන කාලයේ චන්ද්‍රයාගේ කක්ෂය හරහා ගමන් කර ඇත. චන්ද්‍රයා පවතින්නේ කිලෝමීටර් 385,000 ක් ඉහළ "ආසන්න වශයෙන්" වෘත්තාකාර කක්ෂයකයි. පසුගිය මාස 18 ක කාලය පුරාවට මේ Falcon 9 දෙවන අදියර කිහිප වතාවක්ම චන්ද්‍රයාට ආසන්නයෙන් ගමන් කර ඇත. කෙසේ නමුත් ඊයේ දහවල් මේ අතහැර දැමූ රොකට් අදියර චන්ද්‍රයාට ආසන්න වූයේ අවසන් වතාවටයි.
මේ Falcon 9 දෙවෙනි අදියර ඊයේ, එනම් අගෝස්තු 5 වනදා ලංකාවේ වේලාවෙන් ප.ව. 12.05 ට පමණ චන්ද්‍රයාගේ උතුරු අක්ෂාංශ ~19.5 සහ බටහිර දේශාංශ ~93.3 ප්‍රදේශයට කඩාගෙන වැටුණි. පෘථිවියේ සිට බලන විට ඒ ප්‍රදේශයේ ඇත්තේ චන්ද්‍රයාගේ අපිට පෙනෙන අර්ධගෝලයේ කෙළවරේය.
ඉන්ධන අවසන් Falcon 9 දෙවන අදියරක ස්කන්ධය මෙට්‍රික් ටොන් 5 කට ආසන්න වේ. එය චන්ද්‍රයාට කඩාගෙන වැටෙන්නේ තත්පරයට කිලෝමීටර් 2.43 (පැයට කිලෝමීටර් 8,700) ක ප්‍රවේගයෙනි. මෙම ඝට්ටනයෙන් නිදහස් වන ශක්තිය ජූල්ස් බිලියන 14.5 ක් හෙවත් TNT ටොන් 3 ක් පමණ වේ.
මේ ඝට්ටනය සිදු වූ කලාපයට ඉහළින් Danuri යානය ඊයේ ගමන් කළ අතර එහිදී ලබා ගත් ඡායාරූපයක් මෙහි ඔබට දැක ගත හැකි. මේ යානයට වඩා බලවත් කැමරා ඇති Lunar Reconnaissance Orbiter සහ Chandrayaan-2 කක්ෂීය යානා පසුකාලීනව මෙම ස්ථානය ඡායාරූප ගත කරනු ඇත. තව ටික කාලයකින් චන්ද්‍ර කක්ෂයට ඇතුළු වන Chang'e 7 යානයේ ඉහත කී යානා සියල්ලටම වඩා හොද කැමරාවක් ඇති නිසා එයින් ලැබෙන ඡායාරූප අනිත් ඒවාට වඩා පැහැදිලි ඡායාරූප වනු ඇත.